මූලික සෞඛ්‍ය අවශ්‍යතාවයන් සැපයීම, රජයේ ප්‍රධානතම වගකීමක් වන අතර, එහිළා සෞඛ්‍ය සංරක්ෂණ පද්ධතිය තුළ, මාතෘ හා ළමා සෞඛ්‍ය සදහා වැදගත් තැනක් හිමිවේ. 1926 වසරේදී වෛද්‍ය නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ කළුතර ප්‍රථම සෞඛ්‍ය ඒකකය ආරම්භ කිරීමත් සමගම මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවන් සැපයීම වඩාත් සංවිධානාත්මකව සිදුකිරීමට පියවර තැබුණි.

1965 දී රජය විසින් පවුල් සැළසුම ජාතික ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා ලද අතර එය ඒ වන විටත් ව්‍යාප්ත වෙමින් පැවති සෞඛ්‍යය අමාත්‍යාංශයේ මාතෘ සහ ළමා සෞඛ්‍යය වැඩසටහන සමඟ ඒකාබද්ධ කරන ලදි.

මෙහි ඇති ජාතික මට්ටමේ වැදගත්කම සැළකිල්ලට ගනිමින් 1968 දී සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් මාතෘ සහ ළමා සෞඛ්‍යය වැඩසටහන ජාතික වශයෙන් දියත් කිරීම පිණිස ආරම්භ කරන ලදි. ආරම්භයේදී මාතෘ සහ ළමා සෞඛ්‍යය කාර්ය්‍යාංශය ලෙස නම් කරන ලද මෙය පසු කාලීනව පවුල් සෞඛ්‍යය කාර්ය්‍යාංශය ලෙසට වෙනස් කරන ලදි. මෙය ආරම්භයේදී මාතෘ සහ ළමා සෞඛ්‍යය නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ අධීක්ෂණය යටතේ පැවති අතර මෙම නිලය පසු කාලීනව  1986 දී මාතෘ සහ ළමා සෞඛ්‍යය අධ්‍යක්ෂක ලෙසට උසස් කරන ලදි.

අධ්‍යක්ෂක ලෙස ආචාර්ය ටෙරන්ස් පෙරේරා (1968 ජනවාරි සිට 1970 දෙසැම්බර් දක්වා) පත්වූ අතර ඉන් පසුව පහත සඳහන් අය විසින් මෙම ආයතනය වර්තමාන තත්වයට ගෙන එන ලදි.

වෛද්‍ය ටෙරන්ස් පෙරේරා
(1968 ජනටාරි සිට
1970 ‍ෙදමෙිබර් දක්වා)

වෛද්‍ය එස්.වයි.එස්.බී හේරත්
(1971 මැයි සිට 
1979 පෙබරවාරි දක්වා)

වෛද්‍ය ආර්.ඒ.එස්. රඛෙල්
(1979 මාර්තු සිට 
1981 ජූලි දක්වා)


වෛද්‍ය එන්.ඩබ්. විද්‍යාසාගර
(1981 අගෝස්තු සිට 
1986 ඔක්තෝබර් දක්වා

වෛද්‍ය මාලනී ද සිල්වා
(1986 නොවැම්බර් සිට 
1994 ඔක්තෝබර් දක්වා)

වෛද්‍ය කේ.පී. වික්‍රමසූරිය
(1994 නොවැම්බර් සිට 
1998 අප්‍රේල් දක්වා)


වෛද්‍ය විනීතා කරුණාරත්න
(1999 මාර්තු සිට 
2008 ජූලි දක්වා)
වෛද්‍ය දීප්ති පෙරේරා
(2009 ජනවාරි සිට
2014 ජුනි දක්වා)
xdirector වෛද්‍ය හේමන්ත බෙනරගම 
(2014 ජුනි සිට 
2016 මැයි දක්වා)

ජනතාවගේ සෞඛ්‍යය මට්ටම සතුටුදායක තත්වයකට ගෙන ඒම රජයේ ප්‍රධාන කාර්යකි. මේ සඳහා කාලෝචිත ලෙස ‍‍සෞඛ්‍යය ක්‍රමෝපායන්ට අනුව නව ක්‍රම‍වේද හඳුන්වාදී ඇත. 1980 දී ශ්‍රී ලංකාව ජගත් සෞඛ්‍යය ගිවිසුමට අත්සන් කිරීමත් සමඟම අප රටේ ප්‍රාථමික සෞඛ්‍යය සඳහා නව පන්නරයක් ලැබිණි. එමඟින් වසර 2000 දී සැමට සුවසෙත යන තේමාවට වැඩි අවධානයක් ‍යොමුවිය. ශ්‍රී ලංකා රජය විසින් අනුමත කරන ලද ප්‍රාථමික සෞඛ්‍යය සංරක්ෂණය සඳහා වූ ක්‍රමවේදයන් තුළ පවුල් සෞඛ්‍ය සේවාවන්ට හිමිවන්නේ වැදගත් ස්ථානයකි.

1991 සැප්තැම්බර් මස රජය විසින් මෙරට ජනගහනය පිළිබඳව මෙතෙක් තිබුණු ජාතික ප්‍රතිපත්තිය සංශෝධණය කරන ලදි. එහි සඳහන් පරිදි ඊළඟ ශත වර්ෂයේ මැදවන විට රටේ ජනගහනය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නම් වසර 2000 වනවිට ප්‍රජනනයට සුදුසු වයසේ පසුවන කාන්තාවකට සාමාන්‍යයක් ලෙස දරුවන් දෙදෙනකු බැගින් සිටිය යුතු බවයි.

මේ අතර 1994 දී කයිරෝ නුවර පැවති ජනගහනය සහ සංවර්ධනය පිළිබඳව ජගත් සමුළුවේදී ප්‍රජනක සෞඛ්‍යය සංකල්පය සමග බැදි පවුල් සෞඛ්‍යය ජීවන චක්‍රයක් ලෙස හඳුන්වාදෙන ලදි. ප්‍රජනක සෞඛ්‍යය වැඩසටහන අනිකුත් ජාතික වැඩසටහන් හා සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමේ ප්‍රධාන කාර්යභාරය පවුල් සෞඛ්‍යය කාර්ය්‍යාංශය විසින් සිදුකරනු ලැබේ.

ප්‍රජනක සෞඛ්‍යය සංකල්පය හඳුන්වාදීමත් සමඟම ජනගහනය සහ ප්‍රජනක සෞඛ්‍යය සඳහා වූ සකස් නරන ලද නව ප්‍රතිපත්තියක් ජාතික කැබිනට් මණ්ඩලය විසින් 1998 අගෝස්තු මස අනුමත කරන ලදී. මෙමඟින් උසස් මට්ටමක ප්‍රජනක සෞඛ්‍යය තොරතුරු සහ සේවා සැපයීමෙන් ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම, ස්ත්‍රී පුරුෂ සමාණභාවය ඇති කිරීම, වැඩිහිටියන්ගේ සමාජ සහ සෞඛ්‍යය අවශ්‍යතාවයන් ලබාදීම, නාගරීකරණයේ සහ සංක්‍රමණයේ ආර්ථික වාසි පෙන්වා දීම සහ එමඟින් ඇතිවිය හැකි සමාජීය සහ සෞඛ්‍යමය ගැටළු නිරාකරණය කිරීම සහ ජනගහනය ස්ථාවර මට්ටමකට ගෙන ඒම මූලික වශයෙන් සිදුවේ. මෙම ප්‍රතිපත්ති වලට අනුව වඩා උසස් ජීවන තත්වයක් සහ සෑහීමකට පත්විය හැකි සෞඛ්‍යය තත්වයක් සඳහා මාතෘ සෞඛ්‍යය, ළමා සෞඛ්‍යය, පවුල් සැළසුම සහ අනිකුත් කාන්තා ගැටළු සඳහා වැඩි අවධානයක් යොමු වී ඇත.